හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නැවත වතාවක් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසී තිබෙනවා. ඒ ඉදිරි මැතිවරණ සැලසුම් ගැන සාකච්ඡා කිරීම සඳහා බවයි වාර්ථා වන්නේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරණයේදී සහය දෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් මෙතෙක් තීන්දුවක් ගෙන නොමැති බව එහිදී බැසිල් රාජපක්ෂ මහතා විසින් පවසා ඇති අතර මහමැතිවරණයක් මුලින් පැවැත්වීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමු කිරීම මෙම සාකච්ඡාවේ අරමුණ වී ඇති බවද වාර්ථා වෙයි.

එහිදී රනිල් වික්‍රමසිංහ මහතා ඍජුවම සඳහන් කර ඇත්තේ පළමුව ජනාධිපතිවරණය පවත්වන බව සහ තම සන්ධානයේ අපේක්ෂකයා ලෙස තමන් ඉදිරිපත් වන බවත්ය.

මහමැතිවරණයක් පැවැත්වීම සුදුසු බව බැසිල් රාජපක්ෂ මහතාගේ මතය වුවද මෙහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ ජනතාවගේ ඉල්ලීම ජනාධිපතිවරණයක් බවයි. එසේම අරාජික වී තිබූ රට තමා භාර ගත් බැවින් ජනතාව තමාට පිටුපාන්නේ නැති බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර ඇත.