මෙවර අයවැය සම්බන්ධයෙන් සිය ඉල්ලීම්වලට ප්‍රමාණවත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බව පවසමින් රාජ්‍ය සේවක වෘත්තීය සමිති කිහිපයක් හෙට (23) ජාතික විරෝධතා දිනයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව, දිවයිනේ රජයේ කාර්යාල ඉදිරිපිට දිවා ආහාර විවේක කාලයේදී විරෝධතා පැවැත්වීමට නියමිත අතර, එදින කළු ඇඳුමින් සැරසී සේවයට වාර්තා කිරීමටද සැලසුම් කර ඇති බව විදුහල්පති ශ්‍රේණි නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් නිමල් මුදුන්කොටුව මහතා සඳහන් කළේය.

මෙම විරෝධතාව සඳහා සංවර්ධන නිලධාරීන්, කළමනාකරණ සේවා නිලධාරීන්, සෞඛ්‍ය සහායක කාර්ය මණ්ඩල, හෙද හා තාක්ෂණික නිලධාරීන්, කාර්යාල සහායක කාර්ය මණ්ඩල, සමෘද්ධි නිලධාරීන් සහ පළාත් පාලන නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර රැසක සේවකයන් එක්වීමට නියමිත බව සඳහන් වේ.

මේ අතර, සිය ක්ෂේත්‍රයට අදාළ ඉල්ලීම් සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් ලබන 30 වැනිදා දීප ව්‍යාප්ත එක්දින වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමටද ගුරු–විදුහල්පති වෘත්තීය සමිති තීරණය කර තිබේ.