වර්තමානයේ ශ්‍රී ලංකාවේ උපදේශන සේවයෙහි විශාල ගැටළු පවතින බවත් සමහර උපදේශන සේවාවන් ලබා නොගැනීම සුදුසු බවත් ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා පවසයි.
අද (18) දින පෙරවරුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ මනෝවිද්‍යා උපදේශන සේවාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් කෙටුම්පත් කිරීම සඳහා අදාළ පාර්ශවයන්ගේ අදහස් ලබාගැනීමේ සම්මන්ත්‍රණයකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කරන ලදී.
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක උපදේශන අංශය මගින් සංවිධාන කරන ලද මෙම සම්මන්ත්‍රණයේදී ඔහු පැවසූයේ පසුගිය දශක කිහිපය තුළ රටේ ජනතාවගේ සිතුම් පැතුම් සංකීර්ණත්වයට පත්වී ඇති බවයි.
එය කොපමණ ඛේදනියද යත් පීඩාවන් දරාගත නොහැකිව සිය දිවි හානිකර ගැනීමේ ප්‍රවණතාවය ඉහළ යාම දක්වා වර්ධනය වී ඇති බවත් එය සාමාන්‍යයෙන් ලක්ෂයකට පහළොවක් පමණ අගයක් ගන්න බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.





