කඩුවෙල මහනගර සභා බල ප්‍රදේශය පුරා මහජනතාවට මෙන්ම රථවාහන ධාවනයට බාධාකාරී ලෙස අයාලේ හැසිරෙන ගවයින් අල්ලා ඉවත් කිරීමේ විශේෂ වැඩසටහනක් එම නගර සභාව විසින් ආරම්භ කර තිබේ.
වසරක පමණ කාලයක් පුරා සිදුකළ විධිමත් අධ්‍යයනයකින් අනතුරුව ක්‍රියාවට නැංවුණු මෙම ව්‍යාපෘතිය යටතේ අල්ලාගන්නා ගවයින්, අනුරාධපුර රඹෑව පිහිටි රජයේ සත්ත්ව ගොවිපොළ වෙත භාරදීමට නියමිතය. මාලබේ, කහන්තොට, පෝරේ, අතුරුගිරිය සහ වල්ගම ඇතුළු ප්‍රදේශ රැසක වැසියන් දිගු කලක සිට මුහුණ දුන් ගැටලුවකට පිළියමක් ලෙස මෙම මෙහෙයුම ක්‍රියාත්මක වේ.
ගතවූ දින තුන තුළ ක්‍රියාත්මක වූ වැඩසටහන මඟින් අයාලේ ගිය ගවයින් 35 දෙනෙකු පමණ මේ වන විට කොටුකර ගෙන ඇති අතර, අද දිනයේ අතුරුගිරිය නගරය ආශ්‍රිතව මෙම කටයුතු සිදු කෙරිණි. මෙහිදී සතුන්ට අවම හිංසනයක් වන අයුරින් කටයුතු සැලසුම් කර ඇති අතර, හඳුනාගැනීම පිණිස ගවයින්ගේ කන්වල මුද්‍රා තැබීම ද සිදු කෙරේ.
රුපියල් ලක්ෂ 17ක පමණ වියදමින් ක්‍රියාත්මක වන මෙම සම්පූර්ණ ව්‍යාපෘතිය, කඩුවෙල මහනගර සභාවේ නාගරික කොමසාරිස්වරියගේ සහ පශු අංශ භාර වෛද්‍යවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ මෙහෙයවනු ලබයි.





