2025 වර්ෂය ශ්‍රී ලංකා ආර්ථික ඉතිහාසයේ නව මීළඟක් සටහන් කළ වසරක් බවට පත්වී ඇත. ඒ රජය විසින් ගෙවූ වැඩිම විදේශ ණය වාරිකය සම්බන්ධයෙන්ය.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා පවසන්නේ, 2025 වසරේදී රජය විසින් ඩොලර් මිලියන 3900ක විදේශ ණය වාරිකයක් ගෙවූ බවයි.

එතුමා මෙසේ ප්‍රකාශ කරන ලද්දේ කුරුණෑගල ප්‍රදේශයේ පැවති ප්‍රජා සංවර්ධන සභා නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින්ය.

බොහෝ දෙනාගේ අපේක්ෂාව 2028 වසරේදී වැඩිම ණය ගෙවීම සිදුවනු ඇති බවට වුවද, අමාත්‍යවරයා පැවසුවේ 2028 වසරේදී ගෙවිය යුතු මුදල ඩොලර් බිලියන 3.2ක් පමණක් බවයි.

එසේම 2025 වසරේදී ඩොලර් මිලියන 2100ත් 2200ත් අතර මුදලක් වාහන ගෙන්වීමට වැය කළද, රජය ඩොලර් මිලියන 1700ක අතිරික්තයක් වාර්තා කිරීමටද සමත් විය.

මෙම අතිරික්තය උපයා ගත් මුදල හා වියදම් අතර වෙනස නිසා ඇතිවූවක් වන අතර, 2025 වසරේදී රජය උපයා ගත් මුදල ඩොලර් මිලියන 29300ක් වන අතර, වියදම් වූ මුදල ඩොලර් මිලියන 27600ක් පමණක් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.