බිස්කට්, අයිස්ක්‍රීම් සහ චොකලට් ඇතුළු රසකැවිලි නිෂ්පාදන මිල ලබන මැයි මාසය දක්වා වැඩි නොකරන බවට ලංකා රසකැවිලි නිෂ්පාදකයන්ගේ සංගමය විසින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ වෙත සහතික වී ඇති බව වෙළෙඳ අමාත්‍යාංශය පවසයි.
එම සංගමයේ නියෝජිතයන් ඊයේ (26) අමාත්‍යවරයා සමඟ පැවැති සාකච්ඡාවකදී ඒ බව සඳහන් කළ බව වෙළෙඳ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරන ලදී.
මැදපෙරදිග කලාපීය යුද ගැටුම් හමුවේ වර්තමානයේ මෙරට උද්ගතව ඇති තත්ත්වය තුළ, බිස්කට් ඇතුළු රසකැවිලි නිෂ්පාදන කර්මාන්තයට එල්ල වී ඇති බලපෑම් සහ ඒවා කළමනාකරණය කිරීමට කර්මාන්තකරුවන් ගන්නා තීරණ පාරිභෝගිකයාට බලපාන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට වෙළෙඳ අමාත්‍යවරයා විසින් මෙම හමුව කැඳවා තිබුණි.
ගෝලීය තත්ත්වය හමුවේ මෙරට බිස්කට් කර්මාන්තයේ නිරත පිරිස් රැක ගනිමින්, පාරිභෝගිකයා පීඩාවට පත්වීම අවම වන ලෙස කටයුතු කිරීම රජයේ අපේක්ෂාව බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
එමෙන්ම මෙම අසීරු අවස්ථාවේ කර්මාන්තකරුවන් මුහුණ දෙන ගැටලු විසඳා දීමට මැදිහත් වීමට රජය සූදානම් බවත්, දුෂ්කරතා මධ්‍යයේ වුවද පාරිභෝගිකයා පිළිබඳ සිතා කටයුතු කරන ලෙසත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් ඉල්ලා සිටි බව සඳහන් වේ.
එම නිවේදනය පහතින්.







