විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස, උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා ප්‍රථම වරට එරටට පැමිණෙන ශ්‍රී ලාංකික සිසුන්ගෙන් අය කෙරෙන පැමිණීමේ වීසා ගාස්තුව නිදහස් කිරීමට බෙලරුස් රජය තීරණය කර තිබේ.

2026 මැයි මාසයේදී අමාත්‍යවරයා සිදු කළ මෙම නිල සංචාරය අතරතුර ඇති කරගත් එකඟතා මත මෙම විශේෂ සහනය හිමි වී ඇති බව සඳහන් වේ.

මීට අමතරව, දැනට බෙලරුස්හි අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුන්ගේ පවුලේ සාමාජිකයන්ට එරටට පැමිණීම සඳහා අවශ්‍ය වීසා ලබාගැනීමේ ක්‍රියාවලිය ද ඉදිරියේදී සරල කිරීමට පියවර ආරම්භ කර තිබේ.

මෙම නව තීරණයත් සමඟ බෙලරුස්හි උසස් අධ්‍යාපනය හැදෑරීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකික සිසුන්ට මෙන්ම දැනට එරට අධ්‍යාපනය ලබන සිසුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ද විශාල පහසුවක් සහ සහනයක් සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.