ඉන්දියාවේ අන්දමන් දූපතේ පෝර්ට් බ්ලෙයාර්හි හෝප් ටවුන් ප්‍රදේශයේ මෙගාවොට් 57ක ධාරිතාවකින් යුත් නව විදුලි බලාගාරයක් ඉදිකිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 75ක (ශ්‍රී ලංකා රුපියල් බිලියන 25ක පමණ) කොන්ත්‍රාත්තුවක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ ලක්දනවි සමාගම සමත්ව තිබේ. ස්වාභාවික වායුව භාවිත කරමින් විදුලිය උත්පාදනය කිරීම සඳහා මෙම බලාගාරය ඉදි කෙරේ.

ඉන්දීය රජයට අයත් National Thermal Power Corporation (NTPC) Limited සමාගමේ පූර්ණ අනුබද්ධ ආයතනයක් වන NTPC Vidyut Vyapar Nigam Limited (NVVN) විසින් මෙම ව්‍යාපෘතිය සඳහා ටෙන්ඩර් කැඳවා තිබිණි. ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමකදී අවම මිල ඉදිරිපත් කළ ආයතනය ලෙස තෝරාගැනීමෙන් අනතුරුව, පසුගිය සැප්තැම්බර් 21 වැනි දින ඉන්දියාවේ නොයිඩාහි පිහිටි NTPC කාර්යාල සංකීර්ණයේදී අදාළ ගිවිසුම් අත්සන් තැබීම සිදු විය.

මෙම ව්‍යාපෘතියේ සමස්ත ඉංජිනේරු කටයුතු ඇතුළු ක්‍රියාත්මක කිරීමේ වගකීම ලක්දනවි සමාගමේ ඉංජිනේරු කණ්ඩායම වෙත පැවරී ඇති අතර, ඊට අවශ්‍ය විදුලි උත්පාදන උපකරණ සැපයීම සඳහා ෆින්ලන්තයේ Wärtsilä Corporation සමාගම සමඟ එක්වීමට නියමිතය. අන්දමන් දූපතේ විදුලිබල යටිතල පහසුකම් ශක්තිමත් කිරීම, දිගුකාලීන බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ කලාපීය ආර්ථික සංවර්ධනයට රුකුල් වීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වේ.

මෙම සුවිශේෂී ජයග්‍රහණයත් සමඟ ලක්දනවි සමාගම ඉන්දියාවේ විදුලි බලාගාර ඉංජිනේරු, ප්‍රසම්පාදන සහ ඉදිකිරීම් (EPC) ක්ෂේත්‍රයට අඩී තැබීම විශේෂත්වයකි. මේ අතර, LTL සමූහයේ කළමනාකාරීත්වය හමුවී ඇති බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා, ඉන්දියාව වැනි දැඩි තරගකාරී විශාල වෙළෙඳපොළක මෙවැනි ප්‍රධාන පෙළේ යටිතල පහසුකම් කොන්ත්‍රාත්තුවක් ශ්‍රී ලාංකික සමාගමකට හිමිවීම රටටම ආඩම්බරයක් බව ප්‍රකාශ කර ඇත.