මාරාන්තික ගිනි ගැනීමේ අවදානමක් පවතින බවට අනාවරණය වීමත් සමඟ BMW මෝටර් රථ 720,796ක් යළි කැඳවීමට එම සමාගම පියවර ගෙන තිබේ.
රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරන ආකාරයට, මෝටර් රථයේ එන්ජිම ක්‍රියා විරහිත කර නවතා තිබියදී පවා මෙම අනපේක්ෂිත ගිනි ගැනීමේ අවදානම පවතින බව BMW සමාගම විසින් තහවුරු කරනු ලැබ ඇත.
ජල පොම්පයට සම්බන්ධ විදුලි සම්බන්ධකය නිසි පරිදි මුද්‍රා තබා නොතිබීම හේතුවෙන් එයට ජලය ඇතුළු වී විදුලි කෙටි පරිපථයක් නිර්මාණය වීමේ හැකියාවක් පවතින බව අමෙරිකානු බලධාරීන් පෙන්වා දෙති.
විශේෂයෙන්ම, 2024 වසරේදී ද ජල පොම්පයේ පවතින තාක්ෂණික දෝෂයක් මත මෙම වාහන යළි කැඳවා අලුත්වැඩියා කර තිබූ නමුත්, එම අලුත්වැඩියාවෙන් පසුවද ගිනි ගැනීම් සිදුවීම් 10ක් පමණ වාර්තා වී තිබීම විශේෂත්වයකි. එම සිදුවීම් සහ වර්තමාන තත්ත්වය අතර සම්බන්ධයක් පැවතිය හැකි බවට සමාගම සැක පළ කරයි.
මෙම යළි කැඳවීමට 2012 සිට 2018 දක්වා කාලය තුළ නිෂ්පාදනය කරන ලද BMW 2 Series, 3 Series, 4 Series, 5 Series, X1, X3, X4, X5 සහ Z4 යන ජනප්‍රිය මාදිලිවලට අයත් වාහන ඇතුළත් වේ.
අදාළ දෝෂය නිවැරදි කිරීම සඳහා අවශ්‍ය ස්ථිර විසඳුමක් සකස් කරමින් සිටින බව BMW සමාගම සඳහන් කරන අතර, අලුත්වැඩියා කටයුතු අවසන් වන තුරු වාහන නිවාස, ගොඩනැගිලි සහ අනෙකුත් වාහන අසල නවතා තැබීමෙන් වළකින ලෙස අමෙරිකාවේ ජාතික මහාමාර්ග රථවාහන ආරක්ෂණ පරිපාලනය (NHTSA) රියැදුරන්ට දැඩිව අවධාරණය කර තිබේ.





