ලෝක දියවැඩියා දිනය නිමිත්තෙන් ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් කොළඹ නෙළුම් කුලුණ නිල් පැහැති ආලෝකයෙන් ඒකාලෝක කිරීමේ විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකා දියවැඩියා සංගමය විසින් ඊයේ (14) පස්වරුවේ පවත්වා තිබේ. සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පැවැත්විණි.

ජාත්‍යන්තර දියවැඩියා සම්මේලනය මඟින් සංවිධානය කළ ගෝලීය දැනුවත් කිරීමේ වැඩසටහනට අනුව ලොව රටවල් 163ක ප්‍රමුඛ සංකේතවත් ස්ථාන නිල් ආලෝකයෙන් ආලෝකමත් කර ඇති අතර, ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංකේතයක් ලෙස කොළඹ නෙළුම් කුලුණ ද එම ජාත්‍යන්තර ක්‍රියාදාමයට එක්විය. රෝගය කල්තියා හඳුනාගැනීම සහ එය නිසි පරිදි පාලනය කරගැනීමට සමාජය උනන්දු කරවීම මෙහි ප්‍රධාන අරමුණ වී ඇත.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, දියවැඩියාව මුල් අවධියේදී පැහැදිලි රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන බරපතළ බෝ නොවන රෝගයක් බැවින් නිසි වෛද්‍ය පරීක්ෂණවලට යොමුවීම අත්‍යවශ්‍ය බවයි. රෝගය නිසි පරිදි පාලනය නොකිරීමෙන් හෘද රෝග, ආඝාතය, වකුගඩු අකර්මණ්‍ය වීම සහ අක්ෂි ආබාධ ඇතිවිය හැකි බව පෙන්වා දුන් ඒ මහතා, සෞඛ්‍ය සම්පන්න ආහාර රටාව, දෛනික ව්‍යායාම සහ දුම්කොළ භාවිතයෙන් වැළකීම මඟින් අවදානම අවම කරගත හැකි බව ද අවධාරණය කළේය.

ජාත්‍යන්තර දියවැඩියා සම්මේලනයේ 2024 දත්තවලට අනුව, වයස අවුරුදු 20ත් 79ත් අතර මෙරට වැඩිහිටියන් සැලකිය යුතු පිරිසක් මෙම රෝගයෙන් පෙළෙන බැවින් යහපත් ජීවන පුරුදු ඇතිකර ගැනීම අත්‍යවශ්‍ය බව ද මෙහිදී පෙන්වා දී තිබේ.