කොළඹ දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන සේවකයන් සඳහා සංඥා භාෂාව පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව සාර්ථකව නිමවීමේ අවස්ථාව අද පෙරවරුවේ සෙත්සිරිපාය, බත්තරමුල්ලේදී පැවැත්විණි. මෙම උත්සවය ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශ පරිශ්‍රයේදී අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි.

මෙම පාඨමාලාව ජාතික මහලේකම් කාර්යාලය මගින් ආබාධ සහිත පුද්ගලයන් සඳහා ක්‍රියාත්මක කරන ලද වැඩසටහනක් වන අතර රාජ්‍ය සේවකයන්ට ශ්‍රවණාබාධ සහිත පුද්ගලයන් වෙත කාර්යක්ෂම හා සඵලදායී සේවාවක් සැපයීමට අවශ්‍ය දැනුම ලබාදීමේ අරමුණින් සංවිධානය කර තිබේ.

අමාත්‍ය උපාලි පන්නිල මහතා අවධාරණය කරන ලද්දේ, 2026 වර්ෂය තුළ දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙම පුහුණු පාඨමාලාව පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි. එමෙන්ම, සංඥා භාෂාව විශ්ව භාෂාවක් වන අතර ලෝකයේ සියළු දෙනාට එය ඉගෙන ගැනීමට හැකිවූ විට වෙනත් ශබ්ද භාෂාවන් කිහිපයක් ඉගෙන ගැනීමට වඩා පහසු බවද ඔහු සඳහන් කරන ලදී.

රජයේ ප්‍රතිපත්තිය අනුව ආබාධ සහිත පුද්ගලයන් ආර්ථික හා සමාජීය වශයෙන් තෘප්තිමත් වන අතර ඔවුන්ට සමානව සලකන සමාජයක් නිර්මාණය කිරීමේ අරමුණට මෙම වැඩසටහන ඉවහල් වන බව අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.