2026 ජූනි 08 වන දින පෙරවරුවේ, වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මෝටර් වාහන පරීක්ෂා කිරීමේ හා පුහුණු කිරීමේ මධ්‍යස්ථානයේදී, නව අංක තහඩු මුද්‍රණ කටයුතු නිල වශයෙන් ආරම්භ කරන ලදී.
මෙම උත්සවය ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.
වසර 22ක් තිස්සේ මෙරට අංක තහඩු මුද්‍රණය කළ පෞද්ගලික සමාගමේ කොන්ත්‍රාත් කාලය 2025 අප්‍රේල් මස අවසන් වීමත් සමග කටයුතු තාවකාලිකව නවතා තිබුණි. නව සමාගමක් තෝරාගැනීම සඳහා අමාත්‍යංශය විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ආරම්භ කළ අතර, South Asian Technology සමාගම තෝරාගෙන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සමග ගිවිසුම්ගත විය.
අද සිට යතුරු පැදි, ත්‍රිරෝද රථ, මෝටර් රථ, වෑන් සහ බස් රථ ඇතුළු සියලු වාහන කාණ්ඩ සඳහා අංක තහඩු මුද්‍රණය යළි ආරම්භ කර ඇත. නව වැඩපිළිවෙල යටතේ, අංක තහඩුව මුද්‍රණය අවසන් වූ විගස පැය දෙකක් තුළ කෙටි පණිවිඩයක් මගින් වාහන හිමියන්ට දැනුම්දීමට කටයුතු කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා වැඩසටහන පිළිබඳව අදහස් දැක්වියදී, විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් තුළ තාක්ෂණික කමිටු ඇගයීම් අනුව ආයතන තෝරාගෙන, ප්‍රමිතිගතව අංක තහඩු මුද්‍රණය සිදුකිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව සඳහන් කළේය. නතරව තිබූ අංක තහඩු අවශ්‍යතා සඳහාත්, නව ලියාපදිංචි වාහන සඳහාත් දෛනිකව මුද්‍රණය කර ලබාදීමට කටයුතු කරන බවද ඔහු අවධාරණය කළේය.





