මරඳගහමුල පිහිටි රජයේ සහල් ගබඩා සංකීර්ණයේ නිරීක්ෂණයකට එක්වූ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කරන ලද්දේ, වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගත් මෙට්‍රික් ටොන් 50,000ක වී සහල් බවට පත්කර වෙළඳපොළට නිකුත් කිරීම ආරම්භ කර ඇති බවයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසූයේ, 2024 සහල් අර්බුදයෙන් පසු 2025 ජනවාරි – පෙබරවාරි අතර සහල් මිල ඉහළ ගියද, වත්මන් සැලසුම් අනුව 2026 වන විට කැකුළු සහල් රු.200ට අඩුවෙන්, නාඩු සහල් රු.210 – 220ට අඩුවෙන් තබා ගැනීමට හැකිවූ බවයි.

තොග මිල රු.210ට පාලනය කරමින්, ගොවියාට සහතික මිලක් ලබා දීමත්,පාරිභෝගිකයාට සහන මිලක් ලබා දීමත් රජය සිදුකරන බවද ඔහු අවධාරණය කළේය.

ජාතික සතොස හරහා දිනකට සහල් මෙට්‍රික් ටොන් 300කට වැඩි ප්‍රමාණයක් වෙළඳපොළට නිකුත් කරමින්, මිල පාලනයටත්, ගොවියා සහ පාරිභෝගිකයා දෙදෙනාම ආරක්ෂා කිරීමටත් කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

එම අවස්ථාවේදී ජාතික සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ සභාපති කෝසල විල්බාව මහතාද ප්‍රකාශ කළේ, රජය සතුව සහල් ආරක්ෂිත තොග පවතින බැවින් උත්සව සමයේ සහල් මිල ඉහළ යාමක් සිදු නොවන බවයි.