කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේදී සිදුකළ විශේෂ පරීක්ෂාවකින් රුපියල් 60,265,000ක ඇස්තමේන්තුගත වීදි වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබේ.

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ සහ මධ්‍යම තැපැල් අංශයේ නිලධාරීන් විසින් අද (28) සිදුකළ මෙම මෙහෙයුමේදී විදේශ රටවල් හතරකින් එවා තිබූ සැකකටයුතු පාර්සල් නවයක් පරීක්ෂාවට ලක් කර ඇත.

තායිලන්තයෙන් පාර්සල් තුනක්ද, ස්පාඤ්ඤයෙන් දෙකක්ද, එක්සත් රාජධානියෙන් දෙකක්ද, ඇමරිකා එක්සත් ජනපදයෙන් දෙකක්ද වශයෙන් ලැබුණු එම පාර්සල්වල තිබී කුෂ් ගංජා ග්‍රෑම් 4,934ක්, හෂීෂ් ග්‍රෑම් 1,035ක්, එක්ස්ටසි පෙති ග්‍රෑම් 25ක් සහ කොකේන් ග්‍රෑම් 4ක් සොයාගෙන තිබේ.

පාර්සල් භාරගැනීමට නියමිත ලබන්නන් ඉදිරිපත් නොවීම හේතුවෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් ඉදිරියේ ඒවා විවෘත කර පරීක්ෂා කර ඇත.

මූලික විමර්ශන අවසන් කිරීමෙන් අනතුරුව සොයාගත් මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන සහ නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාරදී තිබේ.