දිළිඳුබව තුරන් කිරීමේ ජාතික වැඩසටහන; ප්‍රජා ශක්ති වැඩසටහනට සමගාමීව ග්‍රාම සේවා වසම් තුළ පිහිටුවා ඇති ප්‍රජා සංවර්ධන සභා නියෝජිතයන් දැනුවත් කිරීමේ මහනුවර දිස්ත්‍රික් සමුළුව ඊයේ (11) මහනුවර සහස් උයන පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙහිදී අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ප්‍රකාශ කරන ලද්දේ ප්‍රජා ශක්ති වැඩසටහන යනු ගමට බලය ලබා දෙන, ගමක පාලනය පිළිබඳ පුහුණුවක් ප්‍රජාවට ලබා දෙන සහ ජනතාව සවිබලගන්වන ජන සහභාගීත්ව වැඩසටහනක් බවයි.

ප්‍රජා ශක්ති වැඩසටහන මඟින් ගමට ප්‍රභූත්වයේ යටත්වාදය වෙනුවට ප්‍රජාවගේ පාලනයක් ඇතිවෙමින්, එමඟින් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ආර්ථික, සමාජීය හා දේශපාලන ක්ෂේත්‍රවල පුළුල් වන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, ප්‍රජා ශක්ති වැඩසටහන ජාතික මට්ටමින් සිදු වූ වෙනස ග්‍රාමීය මට්ටමට ගෙන යන ක්‍රියාවලියක් වන අතර, රාජ්‍ය සේවය සහ ප්‍රජාව සෘජුව සම්බන්ධ කරමින් ජනතාව සමාජ, ආර්ථික හා දේශපාලන ක්ෂේත්‍රවල සක්‍රීය සහභාගීකරුවන් බවට පත් කිරීම එහි අරමුණ වගයි.