සංස්කෘතික සබඳතා පිළිබඳ ඉන්දීය කවුන්සිලයේ ආරාධනයක් මත ඉන්දියාවේ සංචාරයක නිරතව සිටින ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ මහ ඇමැති පින්නරායි විජයන් සහ තවත් අමාත්‍යවරු කිහිප දෙනකු අතර හමුවක් කේරළ ප්‍රාන්තයේ තිරුවානන්තපුරම් නගරයේදී පැවැත්විණි.

එසේම ඉන්දීය කොමියුනිස්ට් පක්ෂයේ (මාක්ස්වාදී) ප්‍රධාන ලේකම් එම්.ඒ. බේබි (M.A Baby) හා මධ්‍යම කාරක සභාවේ නියෝජිතයන් කිහිප දෙනකු ද මුණගැසී ඔහු සාකච්ඡා පවත්වා ඇති බවද සඳහන් වේ.

ජනතාවගේ සුබසාධනය වෙනුවෙන්, ප්‍රාන්තයක් ලෙස කේරළයේ සිදු කර ඇති වැඩසටහන්, සාක්ෂරතාව 100% ක් බවට පත් කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග, ආන්තික දරිද්‍රතාව තුරන් කිරීම සඳහා ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවලදී අවධානය යොමු කර ඇත.

ඉදිරියේදී ශ්‍රී ලංකාව සමඟ සහයෝගීතාව වර්ධනය කර ගැනීම හා විවිධ ක්ෂේත්‍ර ඔස්සේ අන්‍යෝන්‍ය සංවර්ධනය ළඟා කර ගත හැකි අවකාශ සම්බන්ධයෙන් ද පක්ෂ දෙක අතර සබඳතා වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කර ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.