කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව අද (03) පාර්ලිමේන්තුවේ විවාදයට නොගැනීම හේතුවෙන් සභාව තුළ දැඩි උණුසුම් තත්ත්වයක් නිර්මාණය විය. මේ හේතුවෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් වරප්‍රසාද ප්‍රශ්න ඉදිරිපත් කරමින් දැඩි විරෝධය පළ කරන ලදී.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ, මන්ත්‍රීවරුන් 44 දෙනකුගේ අත්සන් සහිතව කථානායකවරයාට එරෙහි චෝදනා 50ක් අඩංගු මෙම විශ්වාසභංග යෝජනාව ඔක්තෝබර් 09 වැනිදා පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත භාරදුන් බවයි.
එය ඔක්තෝබර් 12 වැනිදා න්‍යාය පුස්තකයට ද ඇතුළත් කළ බව පැවසූ ඔහු, යෝජනාව විවාදයට නොගැනීම මගින් විපක්ෂයේ පාර්ලිමේන්තු අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට චෝදනා කළේය. න්‍යාය පුස්තකයට ඇතුළත් කළ යෝජනාවක් මෙලෙස අත්තනෝමතිකව ඉවත් කළ නොහැකි බව මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා ද මෙහිදී අවධාරණය කළේය.
කෙසේ වෙතත්, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ තීරණයක් අනුව යෝජනාවේ ඇතැම් කරුණු ස්ථාවර නියෝගවලට අනුකූලව සංශෝධනය කරන ලෙස විපක්ෂයට දැනුම් දී තිබූ බව පාර්ලිමේන්තු නිල නිවේදනයේ සඳහන් විය.
සභානායක බිමල් රත්නායක මහතා පැවසුවේ, එම සංශෝධිත යෝජනාව භාරදීම සඳහා ඔක්තෝබර් 28 වැනිදා දක්වා කාලය ලබාදී තිබූ බවයි. ස්ථාවර නියෝගවලට අනුකූලව සංශෝධිත යෝජනාව ඉදිරිපත් කළහොත්, අයවැය විවාදයට පෙර ඒ සඳහා කාලය ලබාදීමට රජය සූදානම් බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර, විපක්ෂය ඉදිරිපත් කළ වරප්‍රසාද ප්‍රශ්න සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූ නියෝජ්‍ය කථානායක රිස්වි සාලි මහතා ප්‍රකාශ කළේ, අදාළ ලියවිලි ලැබී ඇත්තේ අද (03) පෙරවරු 9න් පසුව බැවින් ඒවා අධ්‍යයනය කිරීමට තමන්ට කාලය අවශ්‍ය බවයි.
ඒවා පරීක්ෂා කර අද දින ඇතුළත ඊට අදාළ පිළිතුරක් ලබාදෙන බව ද ඔහු සභාවට දැනුම් දුන්නේය. විපක්ෂයේ දැඩි විරෝධතා මධ්‍යයේ වුවද පාර්ලිමේන්තුවේ නියමිත කටයුතු ඉදිරියට පවත්වාගෙන යනු ලැබීය.



