1983 කළු ජූලි ඛේදනීය සිදුවීම සහ එමගින් රටට සිදුවූ බලපෑම පිළිබඳව සවිස්තරාත්මක හා පූර්ණ අධ්‍යයනයක් සිදු කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලා නව යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.

ජාතික ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී තණුර දිසානායක විසින් මෙම යෝජනාව පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කරන ලදී. මෙම යෝජනාවට අනුබල දෙමින් එය ස්ථිර කිරීම (Seconding) සිදු කරන ලද්දේ ද ජාතික ජන බලවේගයේම පාර්ලිමේන්තු මන්ත්‍රී භාග්‍ය ශ්‍රී හේරත් මහතා විසිනි.

මෙම විශේෂ කාරක සභාව පත් කිරීමේ ප්‍රධාන අරමුණ වන්නේ 1983 කළු ජූලි සිදුවීම පිළිබඳව නිෂ්පක්ෂපාතී හා පූර්ණ අධ්‍යයනයක් සිදු කර එහි ප්‍රතිඵල පාර්ලිමේන්තුවට වාර්තා කිරීමයි.

ඒ හරහා රට තුළ ජාතික සහජීවනය තහවුරු කිරීමටත්, එම ඛේදනීය සිදුවීමෙන් පීඩාවට පත් පිරිස වෙත අවශ්‍ය සහන සැලසීමටත් අවශ්‍ය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිර්දේශ සහ යෝජනා ඉදිරිපත් කිරීම මෙහිදී අපේක්ෂා කෙරේ.

මෙම යෝජනාව මගින් රටේ අතීත ඛේදනීය සිදුවීම් පිළිබඳව පාරදෘශ්‍යතාවයකින් යුතුව සොයා බැලීමටත්, අනාගතයේ එවැනි සිදුවීම් වළක්වා ගනිමින් සමගි සහජීවනයක් ගොඩනැගීමටත් මග පාදනු ඇතැයි යෝජනා ඉදිරිපත් කරන පාර්ශ්වය විශ්වාසය පළ කරයි.

කාරක සභාවේ නිර්දේශ මත පදනම්ව අනාගතයේදී ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට ද මෙය දායක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.