ගාසා තීරයට නොවැම්බර් 03 වැනිදා එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ගාසාවේ සෞඛ්‍ය හා ආරක්ෂක නිලධාරීහු තහවුරු කර ඇත. මෙම සිදුවීම සටන් විරාම ගිවිසුමක් ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක සිදුවීම විශේෂත්වයකි.
වාර්තා වන පරිදි, දකුණු ගාසාවේ ඛාන් යූනිස් නගරයට බටහිරින් අවතැන් ජනතාව රැඳී සිටි කූඩාරමකට ප්‍රහාරයක් එල්ල වී ඇත. නසර් රෝහල බලධාරීන් සඳහන් කළේ මියගිය තිදෙනකුගේ සිරුරු රෝහල වෙත රැගෙන ආ බවයි.
මීට අමතරව, ගාසා නගරයේ උද්‍යානයක පිහිටි කූඩාරමකට එල්ල වූ වෙනත් ඩ්‍රෝන ප්‍රහාරයකින් වයස අවුරුදු 17ක දැරියක ජීවිතක්ෂයට පත්වූ බව අල්-ෂිෆා රෝහල තහවුරු කර ඇත. මියගිය පිරිස අතර හමාස් අභ්‍යන්තර ආරක්ෂක සේවයේ සාමාජිකයකු ද සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රදේශයේ සිටි සන්නද්ධ ක්‍රියාකාරීන් ඉලක්ක කර මෙම ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල හමුදාව පවසන නමුත්, ඒ පිළිබඳ වැඩිදුර විස්තර ලබාදී නොමැත. තවත් පිරිසක් මෙම ප්‍රහාර හේතුවෙන් තුවාල ලබා ඇති අතර, ඔවුන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙමින් පවතින බව ද සඳහන් වේ.
2025 ඔක්තෝබර් මාසයේදී ඇමෙරිකානු මැදිහත්වීමෙන් ඇති කරගත් සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක වෙමින් පවතිද්දීත් මෙම ප්‍රහාර වාර්තා වීම ගැටලුකාරී තත්ත්වයක් උද්ගත කර ඇත.
හමාස් සංවිධානය යළි සන්නද්ධ වන බවට ඊශ්‍රායලය චෝදනා කරන අතර, හමාස් පවසන්නේ ඊශ්‍රායලය ගිවිසුමේ කොන්දේසි උල්ලංඝනය කරමින් සිටින බවයි. හමාස් සංවිධානයේ අවිහරණය සහ ඊශ්‍රායල හමුදා ඉවත් කිරීම පිළිබඳව නිශ්චිත එකඟතාවක් ඇති කරගැනීමට නොහැකි වීම නිසා සාම ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට නොහැකි වී ඇත.
මේ හේතුවෙන් ගාසාවේ බොහෝ වැසියෝ තවමත් විනාශ වූ ගොඩනැඟිලි සහ තාවකාලික කූඩාරම්වල ජීවත් වන අතර, ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ද ප්‍රමාණවත් ප්‍රගතියක් ලැබී නොමැති බව වාර්තා වේ.





