අනුරාධපුරයේදී අපයෝජනයට ලක් වූ දැරියගේ ආරක්ෂාව සහ රැකවරණය තහවුරු කිරීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් ප්‍රකාශ කරන ලදී.

ඇය සඳහන් කළේ, දැරියට නීතිමය නියෝජනයක් නොමැති බවට එල්ල වන චෝදනා අසත්‍ය බවත්, දැරිය, සහෝදරයා සහ එම නිවසේ සිටින තවත් ළමා ඥාතියක් දැනටමත් අමාත්‍යාංශයීය රැකවරණය යටතේ පසුවන බවත්ය.

අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසූයේ, සිද්ධිය සම්බන්ධයෙන් අනවශ්‍ය තොරතුරු මාධ්‍ය වෙත අනාවරණය නොකිරීමට රජය ගත් තීරණය, කිසිදු පියවර නොගැනීමක් ලෙස නොසලකිය යුතු බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නඩු කටයුතු දැනටමත් පොලිසිය විසින් ගොනු කර ඇති අතර, ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සඳහා නීතිපතිවරයාගේ උපදෙස් ලබාගෙන ඇති බවද ඇය අවධාරණය කළාය.

ඇය අවසන් වශයෙන් සඳහන් කළේ, යම් පිරිස් මෙම සිදුවීම දේශපාලන වාසි සඳහා භාවිත කිරීමට උත්සාහ කරන නමුත්, තමන්ගේ ප්‍රමුඛතාවය දරුවන්ගේ ආරක්ෂාව සහ රැකවරණය තහවුරු කිරීමට පමණක් යොමු කරන බවයි.