එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ICC කාන්තා නැඟී එන ජාතීන්ගේ කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව නොවැම්බර් 12 වැනිදා අයර්ලන්තයට එරෙහිව සිය පළමු තරගයට එක්වීමට නියමිතය.

හර්ෂිතා සමරවික්‍රම ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවන අතර කවීෂා දිල්හාරි උපනායිකාව ලෙස නම්කර ඇත. ක්‍රීඩිකාවන් 14 දෙනකුගෙන් සමන්විත කණ්ඩායම නොවැම්බර් 10 වැනිදා දිවයිනෙන් පිටත්වීමට සැලසුම් කර තිබූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේය.

විශ්මි ගුණරත්න, හසිනි පෙරේරා, නිලක්ෂිකා සිල්වා සහ සුගන්ධිකා කුමාරි ඇතුළු ක්‍රීඩිකාවෝ සංචිතයට ඇතුළත් වෙති. ශ්‍රී ලංකාව සමඟ අයර්ලන්තය, ස්කොට්ලන්තය, පැපුවා නිව්ගිනියාව සහ සත්කාරක එමීර් රාජ්‍යය ‘ඒ’ කාණ්ඩයෙන් තරග කරයි.

විස්සයි විස්ස ජාත්‍යන්තර තරග රටාවෙන් පැවැත්වෙන මෙම තරගාවලියට කණ්ඩායම් දහයක් එක්වෙයි. එක් කාණ්ඩයක ඉදිරියෙන් සිටින කණ්ඩායම් තුන සුපිරි හයදෙනාගේ වටයට පිවිසෙන අතර අවසන් තරගය නොවැම්බර් 25 වැනිදා පැවැත්වීමට නියමිතය.