බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුගේ ඇප ඉල්ලීම් කොළඹ මහාධිකරණය අද (29) ප්‍රතික්ෂේප කර තිබේ.

එමෙන්ම, තවත් විත්තිකරුවන් දෙදෙනෙකු නිදහස් කරන ලෙස ඉදිරිපත් කළ ඉල්ලීම් ද අධිකරණය ප්‍රතික්ෂේප කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල මහතා විසින් මෙම නියෝගය ලබාදී තිබේ.

මහාධිකරණය මීට පෙර ලබාදුන් නියෝගයකට එරෙහිව නීතිපතිවරයා අභියාචනාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති බැවින්, මෙම අවස්ථාවේදී ඇප ඉල්ලීම් සලකා බැලිය නොහැකි බව විනිසුරුවරයා සිය නියෝගයෙන් සඳහන් කර ඇත.