සමාජ මාධ්‍යවල සංසරණය වන, තමා සහ ලංකා ගල්අඟුරු සමාගමේ සාමාන්‍යාධිකාරීවරයා මෙන්ම සැපයුම්කාර සමාගමක නියෝජිතයකු අතර ඇති වූ බව පවසන දුරකතන සංවාදය සම්බන්ධයෙන් ලංකා ගල්අඟුරු සමාගමේ සභාපතිවරයා නිවේදනයක් නිකුත් කර තිබේ.

අදාළ නිවේදනයෙහි දැක්වෙන්නේ, නිසි ටෙන්ඩර් පටිපාටියකට අනුව කැබිනට් අනුමැතිය ද සහිතව කොන්ත්‍රාත්තුව ප්‍රදානය කර තිබූ සැපයුම්කාර සමාගමේ දේශීය නියෝජිතයා අමතා තමා සිදු කළ දැනුම්දීමක් සහිත හඬපටයක් මෙලෙස විකෘති කර ඇති බවයි.

බැංකුව විසින් නිකුත් කරන ලද කාර්ය සාධන ඇපකරය , එය නිකුත් කළ දිනය වන මාර්තු 25 දිනැතිවම ලබා දෙන ලෙස කළ එම දැනුම්දීම විවිධ අර්ථ ගැන්වෙන පරිදි සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර ඇති බව ද එහි සඳහන් වේ.

හදිසි ගල්අඟුරු සැපයුමට අදාළ ටෙන්ඩර් පටිපාටිය සහ ප්‍රසම්පාදන ක්‍රමවේදය නිසි පරිදි අනුගමනය කර ඇති බවයි ලංකා ගල්අඟුරු සමාගමේ සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත.