අද (06) දින පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍ය උපාලි පන්නිල මහතා සඳහන් කරන ලද්දේ, මෙරට ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සමාජ හා ආර්ථික තත්ත්වය ඉහළ නැංවීම සඳහා රජය වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරමින් සිටින බවය.

2024 සංඛ්‍යාලේඛන අනුව මෙරට වයස අවුරුදු 70ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් සිටින බවත්, ඉන් අඩු ආදායම්ලාභී ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 94,000කට ආසන්න පිරිසකට රුපියල් 5,000ක දීමනාවක් ලබාදෙන බවත් අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් පවුල තුළ රැකබලා ගැනීම ප්‍රමුඛ කරගනිමින් අවශ්‍ය සහාය ලබාදෙන බවත්, වැඩිහිටි සමිති හරහා ඔවුන්ගේ සංස්කෘතික, ආගමික හා විනෝදාස්වාද කටයුතු සඳහාද මැදිහත්වීම් සිදුකරන බවත් ඔහු සඳහන් කරන ලදී.

පවුල තුළ රැකබලා ගැනීමට නොහැකි අවස්ථාවලදී ආයතනගත රැකවරණය ලබාදෙන බව පැවසූ අමාත්‍යවරයා, මේ වනවිට මෙරට වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථාන 487ක් පමණ පවත්වාගෙන යන බවද ප්‍රකාශ කළේය.

එම ආයතනවල සේවා තත්ත්වය ඉහළ නැංවීම සඳහා මාර්ගෝපදේශ සහ මූල්‍යාධාර ලබාදෙමින් සිටින බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>