මෙරට තැපැල් සේවාව පසුගිය වසර ගණනාවක් තිස්සේ සංවර්ධනයට ලක් නොවූ බවත් වර්තමානයේ තැපැල් සේවාවට නොතිබුණු වටිනාකමක් ලබාදීමට කටයුතු සිදු කෙරෙන බව ද , මෙරට ආර්ථිකය කිසිම දිනෙක ගොඩනැගිය නොහැකි බවට වූ අදහසක සිටි බවත් පාලකයින් ද එම අදහස පෝෂණය කරමින් සිටි බවත් අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කරයි.

ඒ පසුගියදා (22) අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මාතලේ දිස්ත්‍රික්කයේ මාරක සහ හදුන්ගමුව උප තැපැල් කාර්යාල නව ගොඩනැගිලි ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

රුපියල් මිලියන 5.79 බැගින් වූ මුල්‍ය පිරිවැය යටතේ ඉදිකිරීම් සිදු කර, 2025 නොවැම්බර් මස ආරම්භ කළ වැඩ කටයුතු මාස 04ක කෙටි කාලයකින් අවසන් කරන ලදී

මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලද්දේ අද වන විට රාජ්‍ය සේවකයින් ඇතුලු සියළු ජනතාවගේ කැපවීම මත 2025 වර්ෂය අවසන් වනවිට ආර්ථිකයේ විශාල ජයග්‍රහණ අත්පත් කර ගැනීමට හැකි වූ බව ද මේ තාක් කාලයක් භාණ්ඩාගාරයට ලැබුණු වැඩිම මුදල් ප්‍රමාණය රාජ්‍ය භාණ්ඩාගාරයට එකතු කර දීමට හැකියාව ලැබී ඇති බවද ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම ද වාර්තා කළ බවත්ය.

එසේම තැපැල් සේවාව නව්‍යකරණය කරමින් ආර්ථික සංවර්ධනයට සහ ජනතාවට ප්‍රතිලාභ ලබාදීමට රජය කටයුතු කරන බවද එතුමා මෙහිදී අවධාරණය කරන ලදී.