EPF සහ ETF අරමුදල් දෙක ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා අමාත්‍ය කමිටුවක් පත්කර ඇති බවට පළවන වාර්තා සත්‍ය නොවන බව අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සඳහන් කරන ලදී.

පසුගිය ජුනි මාසයේදී පත් කළ එම කමිටුවේ අරමුණ අරමුදල් දෙක ඒකාබද්ධ කිරීම නොවන බවත්, අරමුදල් දෙක වෙන් වෙන්ව පවත්වාගෙන යන අතර ඒවා ඒකාබද්ධ යාන්ත්‍රණයක් තුළ ක්‍රියාත්මක කිරීමේ හැකියාව හා ශක්‍යතාව සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීම බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඔහු සඳහන් කරන ලද්දේ අතීතයේදී අරමුදල් මහ බැංකු බැඳුම්කර ඇතුළු අවදානම් සහිත ආයෝජන සඳහා යොදා ඇති බවත්, ඒ හේතුවෙන් ආසන්න වශයෙන් රුපියල් බිලියන 30ක පමණ හානියක් සිදුව ඇති බව තමන්ගේ අදහස බවය.

එබැවින් අතීත අත්දැකීම් පදනම් කරගනිමින් EPF සහ ETF අරමුදල් වඩාත් ආරක්ෂිතව පවත්වාගෙන යා හැකි යාන්ත්‍රණයක් සකස් කිරීමේ අවශ්‍යතාව පවතින බවද ඔහු ප්‍රකාශ කරන ලදී.

ජාත්‍යන්තර අත්දැකීම් අනුව මෙවැනි අරමුදල් ත්‍රෛපාර්ශ්වික යාන්ත්‍රණයක් හරහා පාලනය වන බව සඳහන් කළ ඔහු, වැඩ කරන ජනතාවට හානිදායක කිසිදු තීන්දුවක් ගැනීමට රජය සූදානම් නොමැති බව වැඩිදුරටත් අවධාරණය කළේය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>>>