ශ්‍රී ලංකාවේ ආපදා පසු ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ලබාදෙන ආධාර වැඩසටහන යටතේ, රට පුරා පාලම් නවයක් මාස 18ක කාලසීමාව තුළ ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම් කර ඇති බව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය නිවේදනය කරයි.
මෙම විශේෂ වැඩසටහනේ පළමු පාලම සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවෙන් අනතුරුව නිකුත් කළ නිල ප්‍රකාශයකින් තානාපති කාර්යාලය මේ බව තහවුරු කර ඇත. ආපදා හේතුවෙන් දැඩි බලපෑමට ලක්වූ ප්‍රදේශවල ජනතාවගේ ගමනාගමන සම්බන්ධතා යළි ස්ථාපිත කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධානතම අරමුණ බව එහි සඳහන් වේ.
පාලම් ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරීමේදී ඉදිකිරීම් ප්‍රමිතිය සහ ආරක්ෂාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන බව චීන තානාපති කාර්යාලය අවධාරණය කර සිටී. මාර්ග සහ පාලම් රටේ යටිතල පහසුකම් සංවර්ධනයට මෙන්ම ආර්ථික ක්‍රියාකාරකම්වලට ද අත්‍යවශ්‍ය සාධක බව පෙන්වා දෙන තානාපති කාර්යාලය, මෙම ප්‍රතිසංස්කරණ මගින් ආපදාවට ලක්වූ ප්‍රදේශවල ජනතාවගේ දෛනික කටයුතු සහ ආර්ථික සබඳතා යථා තත්ත්වයට පත්කිරීමට සහාය ලැබෙනු ඇති බව විශ්වාසය පළ කරයි.
මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින මිත්‍රශීලී සහයෝගීතාවයේ වැදගත් සංධිස්ථානයක් බවත්, ශ්‍රී ලංකාව සමඟ සංවර්ධන සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් හා ගැඹුරු කිරීමට තමන් කැපවී සිටින බවත් චීන තානාපති කාර්යාලය තම නිල ප්‍රකාශයේ සඳහන් කර තිබේ.





