ශ්‍රී ලංකාවේ ජල සැපයුම් හා සනීපාරක්ෂක සේවා වැඩිදියුණු කිරීම සඳහා වැඩසටහන් දෙකකට ඇමෙරිකානු ඩොලර් මිලියන 300ක මූල්‍යකරණයක් ආසියානු සංවර්ධන බැංකුව අනුමත කර තිබේ.
ඉන් ඩොලර් මිලියන 200ක් දේශගුණික අවදානම්වලට ඔරොත්තු දෙන ජල සැපයුම් හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය සඳහා වෙන්කර ඇත. බස්නාහිර හා දකුණු පළාත්වල මිලියන 1.3කට අධික පිරිසකට විශ්වාසදායක පානීය ජල සේවා ලබාදීම එහි අරමුණකි.
යාපනයේ ලක්ෂ දෙකහමාරකට ආසන්න ජනතාවකට ප්රතිලාභ සැලසෙන අපජල හා සනීපාරක්ෂක පහසුකම්ද ඊට ඇතුළත් වේ. කොළඹ හා ලුණුගම්වෙහෙර ජල පිරිපහදු, සම්ප්‍රේෂණ සහ ගබඩා පහසුකම් සංවර්ධනය කිරීමටත් සැලසුම් කර තිබේ.
ඉතිරි ඩොලර් මිලියන 100 ජල සැපයුම් හා සනීපාරක්ෂක ප්‍රතිසංස්කරණ වැඩසටහනේ දෙවැනි උපවැඩසටහන සඳහාය. ජල ක්ෂේත්රයේ පාලනය, සේවා කාර්යක්ෂමතාව සහ මූල්‍ය තිරසාරභාවය ශක්තිමත් කිරීම එහි අරමුණු වේ.





