පොළොවේදී කොටස් එකතු කර සෙල්ලම් ආකෘතියක් තනන්නාක් මෙන්, අභ්‍යවකාශයේදී කොටස් එකිනෙක සම්බන්ධ කර ව්‍යුහයක් ගොඩනැඟීමට රොබෝ පද්ධතියක් සමත් වී තිබේ.

ඇමෙරිකාවේ කැලිෆෝනියා තාක්ෂණ ආයතනය හෙවත් Caltech නිර්මාණය කළ ASTRA පද්ධතිය මෙම අත්හදාබැලීම සිදුකර ඇත. ගගනගාමීන්ගේ සහාය නොමැතිව අභ්‍යවකාශයේ ව්‍යුහයක් ස්වයංක්‍රීයව එකලස් කළ පළමු අවස්ථාව මෙය බව පර්යේෂණ කණ්ඩායම පවසයි.

රොබෝව අසල ගබඩා කර තිබූ නළ සහ සම්බන්ධක කොටස් ලබාගෙන, ඇන්ටෙනාවකට අවශ්‍ය ආධාරක රාමුවේ කොටසක් එකලස් කර තිබේ. පොළොවේ සිටි ඉංජිනේරුවන් උපදෙස් යවමින් සහ ලැබුණු ඡායාරූප පරීක්ෂා කරමින් මෙහෙයුම අධීක්ෂණය කළහ.

ව්‍යාපෘතියේ ඉලක්කය වූයේ මීටර් 1.4ක විෂ්කම්භයක් සහිත පරාවර්තක ඇන්ටෙනාවක් තැනීමය. එහෙත් කාල සීමා සහ තාක්ෂණික ගැටලු හේතුවෙන් සම්පූර්ණ ඇන්ටෙනාව නිම කිරීමට හැකිවී නැත. සාර්ථකව එකලස් කළ කොටසෙන් මෙම ක්‍රමය අභ්‍යවකාශයේ භාවිත කළ හැකි බව පෙන්වා දී ඇතැයි පර්යේෂකයෝ පවසති.

අනාගතයේදී රොකට්ටුවක් තුළ සම්පූර්ණයෙන් රැගෙන යා නොහැකි තරම් විශාල දුරේක්ෂ, සන්නිවේදන ඇන්ටෙනා සහ සූර්ය බලශක්ති පද්ධති අභ්‍යවකාශයේදීම ගොඩනැඟීමට මෙම තාක්ෂණය උපකාරී විය හැකිය.