පසුගිය රජයන් විසින් විවිධ සමාගම් සමඟ එළැඹ ඇති අහිතකර සහ අවාසිදායක ගිවිසුම් හේතුවෙන් ඉන්ධන හා ගෑස් මිල ඉහළ යාම පාලනය කිරීමට දැඩි බාධා එල්ල වී ඇති බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ පවසයි. බලශක්ති සහ ගෑස් සැපයුම් ක්ෂේත්‍රයේ පවතින ඇතැම් ගිවිසුම් කිසිසේත්ම මහජනතාවට හිතකර නොවන බව ඔහු පෙන්වා දෙයි.

අදාළ ගිවිසුම්වල පවතින දැඩි කොන්දේසි සහ නීතිමය තත්ත්වයන් නිසා ඒවා ක්ෂණිකව වෙනස් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇත. එහෙත්, ජනතාවට දීර්ඝකාලීන සහන සැලසීමේ අරමුණින් එම අවාසිදායක ගිවිසුම් සංශෝධනය කර ගැනීම වෙනුවෙන් රජයක් ලෙස අඛණ්ඩව පෙනී සිටින බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

“විවිධ සමාගම් එක්ක ඉන්ධන වෙන්න පුළුවන්, ගෑස් වෙන්න පුළුවන් ඇතිකරගෙන තිබෙන මේ ගිවිසුම් ජනතාවට හිතකර ගිවිසුම් නෙවෙයි. මේවා වෙනස් කරන්න ගියාම සමහර ඒවා වෙනස් කරන්න බැරි තත්ත්වයක් තියෙනවා. නමුත් දීර්ඝකාලීනව මේ ගිවිසුම් වෙනස් කරගැනීම වෙනුවෙන් රජයක් විදියට අපි අරගලයක නිරත වෙනවා,” යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.