මැදපෙරදිග කලාපයේ තෙල් අපනයනය යථා තත්ත්වයට පත්වීමත් සමඟ ගෝලීය ඉල්ලුමට වඩා සැපයුම ඉහළ යනු ඇතැයි පවතින අපේක්ෂා හමුවේ අද (17) ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් පහළ ගොස් තිබේ.

රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරන පරිදි, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් ශත 44කින් හෙවත් සියයට 0.5කින් පහළ ගොස් අමෙරිකානු ඩොලර් 92ක් ලෙස සටහන් විය. එමෙන්ම, අමෙරිකානු වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට් (WTI) බොරතෙල් බැරලයක මිල ද සියයට 0.5කින් පහළ ගොස් අමෙරිකානු ඩොලර් 85.28ක් ලෙස වාර්තා වී තිබේ.

මැදපෙරදිග තෙල් අපනයනය වේගයෙන් යථා තත්ත්වයට පත්වීම හේතුවෙන් මේ වසරේ සිව්වැනි කාර්තුවේදී ගෝලීය වෙළෙඳපොළ තුළ තෙල් සැපයුම් අතිරික්තයක් ඇති විය හැකි බව ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය පෙන්වා දෙයි.

කෙසේ වෙතත්, පර්සියානු ගල්ෆ් කලාපයේ සහ හෝමුස් සමුද්‍ර සන්ධියේ තෙල් ප්‍රවාහන නෞකා හා බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරගනිමින් තවදුරටත් ප්‍රහාර එල්ල වීම හේතුවෙන් තෙල් සැපයුම පිළිබඳ යම් අවිනිශ්චිතතාවක් තවදුරටත් පවතින බව වාර්තා වේ.