රුපියල් ලක්ෂ 42ක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ චීන ජාතිකයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අද (17) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.

මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට මැලේසියානු ගුවන් සේවයට අයත් යානයකින් මෙරටට පැමිණි 42 හැවිරිදි චීන ජාතික ව්‍යාපාරිකයෙකු මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත. ඔහු ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ‘හරිත මාවත’ ඔස්සේ අදාළ දුම්වැටි තොගය පිටකර ගෙන යාමට තැත් කිරීමේදී රේගු නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක්ව තිබේ.

එහිදී සැකකරු රැගෙන ආ ගමන් මලු දෙකක් පරීක්ෂා කිරීමේදී ඒ තුළ සූක්ෂම ලෙස සඟවා තිබූ චීනයේ නිෂ්පාදිත දුම්වැටි 28,000ක් අඩංගු දුම්වැටි කාටූන් 140ක් සොයා ගැනීමට නිලධාරීන් සමත්ව ඇත. අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.