ඉරානය සමඟ පැවති යුදමය තත්ත්වය නිමාවට පත්ව ඇති බවට ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් කරන ලද විශේෂ ප්‍රකාශයත් සමඟ කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (10) ඒකක 592.02 කින් ඉහළ ගියේය.
ගෝලීය භූ-දේශපාලනික අවිනිශ්චිතතාව පහව යාම හමුවේ ආයෝජකයන් දැක්වූ උද්‍යෝගය නිසා සියලු කොටස් මිල දර්ශකය (ASPI) සියයට 2.75 ක වර්ධනයක් සටහන් කරමින් දිනය අවසානයේ ඒකක 22,123.39 ක් ලෙස සටහන් වූ බව වෙළෙඳපොළ වාර්තා පෙන්වා දෙයි.
එමෙන්ම වඩාත් ප්‍රමුඛ සහ සක්‍රීය සමාගම් විස්ස නියෝජනය වන ‘එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20’ (S&P SL20) දර්ශකය ද ඒකක 224.97 කින්, එනම් සියයට 3.66 කින් ඉහළ ගොස් ඒකක 6,368.12 ක් දක්වා වර්ධනය වී තිබේ.
දිනයේ සමස්ත ගනුදෙනු පිරිවැටුම රුපියල් බිලියන 7.95 ක් ඉක්මවා ගිය අතර, දිනය තුළ සිදු වූ ගනුදෙනු 44,300 ක් හරහා කොටස් 253,922,597 ක් හුවමාරු වී තිබේ. මෙය මෑත කාලයේ වාර්තා වූ ඉහළම දෛනික පිරිවැටුම් අගයන් අතරට එක්වන බව කොටස් තැරැව්කාර සමාගම් සඳහන් කරයි.
ගනුදෙනු ආරම්භ වූ මොහොතේ සිටම ප්‍රධාන පෙළේ සමාගම් රැසක කොටස් මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගිය අතර දේශීය හා විදේශීය ආයෝජකයන් විශාල වශයෙන් කොටස් මිලදී ගැනීමට යොමු වී ඇත.
පසුගිය කාල සීමාවේ ඇමෙරිකාව සහ ඉරානය කේන්ද්‍ර කරගනිමින් මැදපෙරදිග හටගත් යුදමය තත්ත්වය නිසා ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල, නාවික ප්‍රවාහන හා රක්ෂණ ගාස්තු ඉහළ ගොස් ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවල උද්ධමනය යළි වැඩිවනු ඇතැයි ආයෝජකයෝ බිය පළ කර සිටියහ.
කෙසේ වෙතත්, යුද ගැටුම් අවසන් වන බවට ලැබුණු නිල ප්‍රකාශය සමඟ ගෝලීය වෙළෙඳපොළ යථා තත්ත්වයට පත්වූ අතර, එහි සෘජු ධනාත්මක බලපෑම ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ වෙත ද හිමිව තිබේ.





