ගිනිකොණ දිග බෙංගාල බොක්කේ හටගෙන ඇති කැලඹිලි ස්වභාවය ඉදිරියේදී අඩු පීඩන කලාපයක් දක්වා සහ පසුව පීඩන අවපාතයක් දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා අද (10) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළේය.

මෙම තත්ත්වය හේතුවෙන් එළැඹෙන නොවැම්බර් 15, 16 සහ 17 යන දිනවල උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් නිවැරදි අනාවැකි පළ කිරීමට තරම් ප්‍රමාණවත් දත්ත තවමත් නොමැති බවත්, ඉදිරියේදී තත්ත්වය අධ්‍යයනය කර අවශ්‍ය වුවහොත් අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට පියවර ගන්නා බවත් ඔහු අවධාරණය කළේය.

මේ වන විට ධීවර සහ නාවික ප්‍රජාවට මුහුද ආශ්‍රිත කටයුතුවලින් වැළකී සිටින ලෙස දන්වා නොමැති වුවද, ඉදිරියේදී නිකුත් කරනු ලබන කාලගුණ අනතුරු ඇඟවීම් පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන ලෙස ධීවර කාර්මිකයින්ගෙන් ඉල්ලා සිටින බව අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේය.