රඹෑව ප්‍රදේශයේ බස් රථ තුනක් එකිනෙක ගැටී සිදුවූ මාරක රිය අනතුර සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වා ඊට අදාළ සම්පූර්ණ විමර්ශන වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් ඩී. එල්. සමරසිංහ මහත්මිය මිහින්තලය පොලිසියට නියෝග කළාය.

මිහින්තලය පොලිසිය විසින් බී වාර්තාවක් මඟින් අධිකරණය හමුවේ කරුණු දැක්වීමෙන් අනතුරුව අතිරේක මහේස්ත්‍රාත්වරිය අනතුර සිදුවූ ස්ථානයට පැමිණ නිරීක්ෂණයක නිරත වූවාය. එහිදී අනතුරට මුහුණ දුන් බස් රථ තුන ද පරීක්ෂාවට ලක් කළ ඇය, මෝටර් රථ පරීක්ෂකවරයා මඟින් එම බස් රථ තුන වෙන් වෙන් වශයෙන් පරීක්ෂා කර වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට වැඩිදුරටත් නියම කළාය.

අනතුරුව අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ගිය අතිරේක මහේස්ත්‍රාත්වරිය, අනතුරින් ජීවිතක්ෂයට පත්වූවන්ගේ මෘතදේහ පරීක්ෂා කළ අතර පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකර වාර්තා අධිකරණයට භාරදෙන ලෙස විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියෝග කෙරිණි. එම පරීක්ෂණ අවසන් වීමෙන් පසු දේහයන් ඥාතීන් වෙත මුදාහැරීමට ද නියෝග කෙරුණු අතර, අනුරාධපුර පොලිස් අධිකාරි චානක අබේසිරිගුණවර්ධන මහතාගේ උපදෙස් මත මිහින්තලය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.