FarmerNet.lk නමින් ගොවීන් ලියාපදිංචි කිරීමේ පද්ධතිය එළි දැක්වීමේ ජාතික වැඩසටහන කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) දින කොළඹ ගොවිජන මන්දිරයේදී ජනගත කෙරිණි.
දත්ත හිඟය, තීරණ ගැනීමේ අපහසුව සහ සම්පත් නාස්තිය යන ප්‍රධාන ගැටළු විසඳීම මෙහි අරමුණ වන අතර, මෙම නව පද්ධතිය හරහා ගොවි ප්‍රජාවට තම කෘෂිකාර්මික කටයුතු වඩාත් පහසුවෙන් සිදුකර ගැනීමට මෙන්ම කෘෂි නිලධාරීන් හට ගොවීන් වෙත අවශ්‍ය සේවාවන් කාර්යක්ෂමව ලබා දීමට හැකියාව ලැබේ.
රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීම වත්මන් රජයේ ප්‍රධාන රාජ්‍ය ප්‍රතිපත්තියක් වන අතර, එහි එක් වැදගත් පියවරක් ලෙස මෙම ජාතික වැඩසටහන අද සිට ක්‍රියාත්මක වේ. FarmerNet.lk පද්ධතිය මඟින් දිවයින පුරා විසිරී සිටින සියලු ගොවීන්ගේ තොරතුරු එකම මධ්‍යස්ථානයකින් ලබාගැනීමේ හැකියාව හිමිවීම විශේෂත්වයකි.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා, කෘෂිකර්මාන්තය නවීන තාක්ෂණය සමඟ සම්බන්ධ කර ගනිමින් ඉදිරියට ගෙන යාම අත්‍යවශ්‍ය බවත්, ගොවි ප්‍රජාව මෙම නව පද්ධතියට වේගයෙන් අනුවර්තනය වන බවත් සඳහන් කළේය.






