අයිසීසී කාන්තා නැගී එන ජාතීන්ගේ විස්සයි20 තරගාවලියේදී ශ්‍රී ලංකාව නොවැම්බර් 13 වැනිදා ස්කොට්ලන්තය කඩුලු හතරකින් පරාජය කළේය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අජ්මාන්හි පැවති මෙම තරගයේ ජයත් සමඟ ශ්‍රී ලංකාව තරගාවලියේ පිට පිට දෙවැනි ජය වාර්තා කළේය.

ස්කොට්ලන්තය පන්දුවාර 20කදී කඩුලු අටකට ලකුණු 111ක් රැස් කළේ ඩාර්සි කාටර්ගේ ලකුණු 62 සමඟය. ශ්‍රී ලංකාව වෙනුවෙන් සුගන්ධිකා කුමාරි ලකුණු 15කට කඩුලු දෙකක් ද, සත්‍යා සංදීපනී ලකුණු 18කට කඩුලු දෙකක් ද දවා ගත්හ.

පිළිතුරු ඉනිමේදී විශ්මි ගුණරත්න පන්දු 41කින් ලකුණු 49ක් රැස් කළ අතර හර්ෂිතා සමරවික්‍රම ලකුණු 24ක් එක් කළාය. ශ්‍රී ලංකාව පන්දුවාර 18යි එක් පන්දුවකදී කඩුලු හයකට ලකුණු 115ක් ලබා ජය තහවුරු කළේය. ශ්‍රී ලංකාවේ මීළඟ තරගය නොවැම්බර් 15 වැනිදා පැපුවා නිව්ගිනියාවට එරෙහිව පැවැත්වීමට නියමිතය.