ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සභාපති Masato Kanda මහතා අද (23) දින තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණියේය.

ශ්‍රී ලංකාවේ ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීම, ප්‍රධාන පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා පැවැත්වීම සහ “දිට්වා” සුළි කුණාටුවෙන් හානියට පත් ප්‍රදේශ නිරීක්ෂණය කිරීම මෙම සංචාරයේ අරමුණයි.

අද දිනයේදී එතුමා කොළඹ වරාය පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමටත්, කොළඹදී පෞද්ගලික අංශයේ නියෝජිතයන් සමඟ සාකච්ඡාවකට සහභාගී වීමටත් ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික මෙහෙයුම් කාර්යාලය (SLRM) වෙත යාමටත් නියමිතව තිබේ.

එසේම හෙට (24) දින සභාපතිවරයා ඇතුළු දූත පිරිස “දිට්වා” සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවක නිරත වීමට නියමිත අතර මීට අමතරව, සුළි කුණාටුවෙන් පීඩාවට පත් අම්බලන්කන්ද ප්‍රදේශයේද නිරීක්ෂණ චාරිකාවකට එක්වී ජනතාව සමඟ අදහස් හුවමාරු කර ගැනීමටත්, සිදුව ඇති හානිය සෘජුවම දැක බලා ගැනීමටත් සැලසුම් කර ඇත.

අනතුරුව සභාපතිවරයා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වීමට නියමිත අතර එහිදී ආර්ථික පුනර්ජීවනය, සංවර්ධන මූල්‍යකරණය සහ ශ්‍රී ලංකාව හා ආසියානු සංවර්ධන බැංකුව අතර ද්විපාර්ශ්වික සහයෝගීතාවය ශක්තිමත් කිරීම පිළිබඳව අවධානය යොමු කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

දකුණු ආසියානු කලාපීය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, සභාපති කාර්යාලයේ ප්‍රධාන උපදේශක හා ජ්‍යෙෂ්ඨ උපදේශක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහූ පිරිසක් මෙම සංචාරයට එක්ව සිටී.