අස්වැසුම වාර්ෂික තොරතුරු යාවත්කාලීන කිරීම් මේ වන විට ආරම්භ වී ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.
2023 කාලය තුළ අස්වැසුම සඳහා පළමුවරට ලියාපදිංචි වී, දැනට ප්‍රතිලාභ ලබන සහ නොලබන පවුල්/තැනැත්තන් මෙම යාවත්කාලීන කිරීම් සිදු කළ යුතු බව එම මණ්ඩලය සඳහන් කර සිටියා.
එමෙන්ම, නැවත තොරතුරු සහතික කිරීමේ දී පවුලේ සාමාජිකයින්ගේ ජාතික හැඳුනුම්පතේ සහ සක්‍රීය ජංගම දුරකථන අංකයක් තිබීම අත්‍යවශ්‍ය බවද එම මණ්ඩලය සඳහන් කර තිබෙනවා.
අන්තර්ජාල පහසුකම් සහිත පරිගණකයකින් හෝ ස්මාර්ට් ජංගම දුරකථනයකින් https://eservices.wbb.gov.lk යන වෙබ් ලිපිනයට පිවිස, QR පත්‍රයේ සඳහන් තමාගේ HH අංකය සහ ජාතික හැඳුනුම්පත් අංකය යොදා තොරතුරු පද්ධතියට පිවිස, තොරතුරු සහතික කිරීමේ මෙනුවට ගොස් පවුලේ තොරතුරු ඇතුළත් කළ හැකි බවද, එසේ නොමැති නම්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුබසාධක ප්‍රතිලාභ තොරතුරු ඒකකයට පිවිසීම මගින් වාර්ෂික තොරතුරු යාවත්කාලීන කිරීමේ අයදුම්පත්‍රයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුබසාධක ප්‍රතිලාභ ඒකකයට භාරදිය හැකි බව එම මණ්ඩලය වැඩිදුරටත් ප්‍රකාශ කළා.
ඒ අනුව, අස්වැසුම පළමු අදියරේ සියලුම පවුල් සහ තැනැත්තන් තොරතුරු යාවත්කාලීන කිරීමට සහභාගී වීම අනිවාර්යය වන බවත්, සහභාගී නොවූ පවුල් සහ තැනැත්තන් ඉදිරි වර්ෂයේදී අස්වැසුම ප්‍රතිලාභවලට සුදුසුකම් නොලබන අය ලෙස සලකනු ලබන බවත් එම මණ්ඩලය සඳහන් කර තිබෙනවා.





