ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ භූමියේදී ඇති වූ සිද්ධියක් මුල් කර ගනිමින් පොලීසිය විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතීඥ ගුණරත්න වන්නිනායක විසින් සිය නීතිඥවරු මාර්ගයෙන් ඉදිරිපත් කළ රිට් පෙත්සම යළි ජනවාරි මස 14 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද නියෝග කර තිබෙනවා.
මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවා තිබු අතර එහිදී පෙත්සම්කාර ගුණරත්න වන්නිනායක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින්, සිය සේවාදායකයාට ගල්කිස්ස අධිකරණය භූමියේදී පහරදුන් පොලිස් නිලධාරියා එම සිද්ධියට පෙර දඬුවම් මාරුවක් ලබා ගල්කිස්ස පොලිස් ස්ථානයට පැමිණි අයෙකු බවට සඳහන් කර සිටියා.
එම දඬුවම් මාරුවට හේතු වූ චෝදනා සම්බන්ධයෙන් මෙතෙක් විමර්ශන සිදු වී නොමැති බවට ජනාධිපති නීතිඥවරයා චෝදනා කළ අතර, එම අවස්ථාවේදී විනිසුරු මඬුල්ල විසින් ජනාධිපති නීතිඥවරයාට නියම කර සිටියේ එම කරුණු මෝසමක් මාර්ගයෙන් නීතිපතිවරයාට ද නොතීසි ලබාදී කරුණු තහවුරු කිරීමට පියවර ගන්නා ලෙසය.
කෙසේ වෙතත් පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින්, මෙම පෙත්සම සඳහා කැඳවීම් දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටි අතර, එම ඉල්ලීම සලකා බැලූ අභියාචනාධිකරණය විසින් අදාල පෙත්සම ජනවාරි මස 14 වැනිදා කැඳවන ලෙස නියෝග කර ඇත.





