ජනාධිපති අනුර කුමාර දිසානායක අද (අප්‍රේල් 09) අලුත් සහල් මංගල්‍යයට සහභාගී වෙමින් පවසන ලද්දේ, ලෝකයේ කුමන අර්බුද මතු වුවද ශ්‍රී ලංකාවට ආහාර අර්බුදයක් මතු නොවෙනුයේ ගොවි ජනතාවගේ අසීමිත කැපවීම නිසා බවය.
එතුමා අවධාරණය කළේ, දිවා රෑ නොතකා කෘෂි කර්මාන්තය වෙනුවෙන් කැපවෙන ගොවි ජනතාවට විශේෂ ගෞරවයක් හිමිවිය යුතු බවත්, රජය විසින් ඔවුන්ගේ ජීවිත තත්ත්වය උසස් කිරීම සඳහා විශාල සැලැස්මක් සකස් කර ඇති බවත්ය.
එම සැලැස්මට අනුව, රජය කෘෂිකර්මාන්තය නව තාක්ෂණික මට්ටමකට නංවා ගැනීම, අස්වනු නාස්තිය වළක්වා ගැනීම, සහ අස්වැන්නට සාධාරණ මිලක් ලබාදීම සඳහා ප්‍රතිපත්ති සකස් කර ඇති බව ජනාධිපතිවරයා පැවසීය.
එතුමා තවදුරටත් සඳහන් කරන ලද්දේ, සෑම රටකටම තමන්ටම අනන්‍ය වූ සංස්කෘතියක් සහ ගමන් මාවතක් තිබෙන බවත්, ශ්‍රී ලංකාවේ සංස්කෘතිය කෘෂි කර්මාන්තය මත ගොඩනැගී ඇති බවත්ය.
මෙම අලුත් සහල් මංගල්‍යය, ගොවි ජනතාවගේ කැපවීම හා සංස්කෘතික වටිනාකම පිළිබිඹු කරන උත්සවයක් ලෙස ජනාධිපතිවරයා විස්තර කරන ලදී.




