සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත යටතේ සැකකරුවන් රඳවාගැනීමට යෝජිත පැය 72ක කාලය පැය 48 දක්වා අඩු කිරීමට රජය එකඟ වී ඇති බව නීතිපති පාර්ශ්වය නොවැම්බර් 9 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

පුද්ගලයන්ගේ පච්චා සහ ශරීර සලකුණු මත අපරාධ කණ්ඩායම් සමඟ සම්බන්ධතා හඳුනාගැනීමට අදාළ විධිවිධාන ඉවත් කිරීමටද යෝජනා කර තිබේ. බරපතළ අපරාධ නඩු පිළිබඳ තොරතුරු ප්‍රකාශයට පත්කිරීමට පෙර අධිකරණ අවසරය ලබාගැනීමේ විධිවිධානයද ඉවත් කිරීමට රජය එකඟ වී ඇත.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න මහතා මෙම කරුණු ඉදිරිපත් කළේ කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක්කළ පෙත්සම් 26ක් සලකා බැලීමේදීය.

සුරාබදු ආඥාපනත යටතේ වැරදි කෙටුම්පතෙන් ඉවත් කිරීමටත්, ප්‍රකාශන හිමිකම් සම්බන්ධ විධිවිධාන සංශෝධනය කිරීමටත් රජය අදහස් කරයි. යෝජිත වෙනස්කම් පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කිරීමට නියමිතය.

පෙත්සම් විභාගය අවසන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේ සිය තීරණය ජනාධිපතිවරයාට සහ කථානායකවරයාට යොමු කරන බවයි. මෙම සංශෝධන මෙතෙක් පාර්ලිමේන්තුවේ සම්මත කර නැත.