අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්මෙන් නව ආගමික සිද්ධස්ථාන ඉදිකිරීමක් යෝජනා කර නැති බව ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රුචිර විතාන මහතා ප්‍රකාශ කර තිබේ.

සැලැස්මෙන් පූජා නගරයේ ආගමික හා ඓතිහාසික ස්වභාවයටත්, ප්‍රදේශවාසීන්ගේ ඉඩම් සහ ජීවනෝපායන්ටත් බලපෑම් ඇතිවේදැයි මතුව ඇති ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වමින් ඔහු මෙම පැහැදිලි කිරීම කර ඇත.

යාවත්කාලීන සැලැස්ම ප්‍රකාශයට පත්කර ඇත්තේ 2026 පෙබරවාරි 27 දිනැති අංක 2477/44 අතිවිශේෂ ගැසට් නිවේදනයෙනි. පැරණි සැලැස්ම යාවත්කාලීන කර පූජා භූමියේ සංවර්ධන කටයුතු නියාමනය කිරීම එහි සඳහන් අරමුණකි.

බුද්ධශාසන අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් ගුණරත්න වික්‍රමතිලක මහතා පවසන්නේ ආරම්භක සංවර්ධන කටයුතු සඳහා රාජ්‍ය මුදල් යොදාගෙන ඇති බවයි. ඉන්දීය මූල්‍ය ආධාර මේ දක්වා ලැබී නැති බවද ඔහු සඳහන් කර ඇත.

නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් දමිත් දිසානායක මහතා අනුව, සංවර්ධන යෝජනාවක් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට ඉදිරිපත් කර තිබේ. ව්‍යාපෘති 45ක් ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවටද යොමුකර ඇති බව ඔහු පවසයි.

මේ අතර විරෝධතාකරුවන් ඉල්ලා සිටින්නේ අදාළ ගැසට් නිවේදනය ඉවත් කරන ලෙසයි.