අධිවේගී මාර්ග ක්‍රියාත්මක කිරීම සහ නඩත්තු කටයුතු සඳහා නව වාහන හා යන්ත්‍රෝපකරණ 21ක් මිලදී ගැනීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.

අද (11) දින පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරන ලද්දේ, දැනට භාවිතයේ පවතින ඇතැම් වාහන සහ යන්ත්‍රෝපකරණ යල්පැන ඇති බැවින් ඒවා ප්‍රතිස්ථාපනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇති බවය.

ඒ අනුව අධිවේගී මාර්ග ආදායම්වලින් රුපියල් මිලියන 1,200ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ මෙම වාහන හා යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමට නියමිත බවත්,

මිලදී ගැනීමට නියමිත උපකරණ අතර ඩබල් කැබින් පිකප් ට්‍රක් රථ 4ක්, අධිවේගී මාර්ග මුර රථ 2ක්, ගුවන් වැඩ වේදිකා ට්‍රක් රථ 2ක්, දුරේක්ෂ බූම් ට්‍රක් රථ 2ක්, පදික වේදිකා පිරිසිදු කිරීමේ වාහන 2ක් සහ ජල ජෙටින් ට්‍රක් රථ 2ක් ඇතුළත් වන බවත් ඔහු සඳහන් කරන ලදී.

මීට අමතරව ගිනි නිවන ට්‍රක් රථ 2ක්, ඇදගෙන යන ට්‍රක් රථ 3ක් සහ අධිවේගී මාර්ග භූමිය පිරිසිදු කිරීමේ රථ 2ක්ද මිලදී ගැනීමට නියමිත බව අමාත්‍යවරයා පැවසීය.

මේ අතර, නව අධිවේගී මාර්ග කිහිපයක් 2027–2028 කාලය තුළ භාවිතයට එක් කිරීමට නියමිත බවද ඔහු සඳහන් කළේය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>>>