රජයේ ආයතනවලට අයත් වාහන සඳහා ඉන්ධන සපයා ගැනීමේදී ඩිජිටල් කාඩපත් ක්‍රමය හඳුන්වා දීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

මෙහිදී ඉන්ධන අවශ්‍යතාව අනුව මාර්ගගත බැංකු ක්‍රමවේදය හරහා ඊට අදාළ මුදල් ප්‍රතිපූරණය කිරීමටත්, පුද්ගල මැදිහත් වීම අවම වීම තුළින් ඉහළ විනිවිද භාවයකින් හා කාර්යක්ෂමතාවකින් ඉන්ධන සපයා ගැනීමටත් අවකාශ ලැබෙනු ඇත.

මේ වනවිට ලංකා බැංකුව හා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එක්ව වාහන සඳහා ඩිජිටල් කාඩ්පත් මඟින් ඉන්ධන සැපයීමේ ක්‍රමවේදය හඳුන්වා දී තිබේ.

ඒ අනුව, පළමුව නියමු ව්‍යාපෘතියක් වශයෙන් ජනාධිපති කාර්යාලයේ සංචිත වාහන සඳහා ඉන්ධන සපයා ගැනීමට එකී ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමටත්, එහි සාර්ථකත්වය මත පදනම්ව අනෙකුත් රාජ්‍ය ආයතන සඳහා ද එම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමටත් ජනාධිපතිවරයා විසින් මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත.