අයවැය යෝජනා මඟින් උපයන විට බදු (PAYE) අය කිරීමේ සීමාවන් ඉහළ දැමීම හේතුවෙන් රජයට රුපියල් බිලියන 16ක (රුපියල් කෝටි 1,600ක) බදු ආදායමක් අහිමි වුවද, එම සම්පූර්ණ මුදල මෙරට වැඩ කරන ජනතාව අතම ඉතිරි වන සෘජු ආර්ථික සහනයක් බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ.
අයවැය දෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් විපක්ෂ මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මතු කළ අදහස්වලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ජනතාව මත පැටවී තිබූ බදු බර ලිහිල් කරමින් රට ගොඩනැගීමේ ප්‍රායෝගික වැඩපිළිවෙළක් මෙම අයවැය ලේඛනය හරහා ඉදිරිපත් කර ඇති බව ඔහු පවසා ඇත.
මේ අතර, යටිතල පහසුකම් සංවර්ධනය සහ සමාජ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් වෙන් කර ඇති ප්‍රාග්ධන වියදම්වල ක්රමික වර්ධනය පිළිබඳවද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සංඛ්‍යාලේඛන ඉදිරිපත් කළේය.
ඒ අනුව, 2025 වසර සඳහා රුපියල් බිලියන 1,016ක්ද, 2026 වසර සඳහා රුපියල් බිලියන 1,480ක්ද, 2027 වසර සඳහා රුපියල් බිලියන 2,000ක් (රුපියල් ට්‍රිලියන 2ක්) දක්වාද සංවර්ධන ප්‍රාග්ධන වියදම් ඉහළ නංවා ඇති බවත්, එම සියලු මුදල් රටේ සංවර්ධන කටයුතු වෙනුවෙන් යොදවන බවත් අමාත්‍ය වසන්ත සමරසිංහ අවධාරණය කර තිබේ.

