කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක පවතින අහිතකර වායු තත්ත්වය හේතුවෙන් සංවේදී පුද්ගලයන්ට සෞඛ්‍යමය බලපෑම් ඇති වීමේ හැකියාවක් පවතින බැවින්, එවැනි සංවේදී පුද්ගලයන් N-95 මුඛ ආවරණ පැලඳීම නිර්දේශ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දී තිබේ.
ජාතික පාරිසරික පනතේ ප්‍රතිපාදන යටතේ වායු තත්ත්වය පසුවිපරම් කරන මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරන්නේ, උතුරු පළාතේ යාපනය සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කවලත් අනුරාධපුරය, පුත්තලම, කොළඹ, ත්‍රිකුණාමලය සහ කල්මුණේ ආශ්රිත ප්‍රදේශවලත් අවලම්බිත ක්ෂුද්‍ර අංශු (PM 10 සහ PM 2.5) ඉහළ යෑමක් වාර්තා වී ඇති බවය.
ඒ අනුව, ඊයේ (19) උදෑසන වන විට වායු තත්ත්ව දර්ශකය බත්තරමුල්ලේ 179ක්, හලාවත 165ක්, කිලිනොච්චියේ 158ක්, අනුරාධපුරයේ 158ක් සහ ත්‍රිකුණාමලයේ 151ක් ලෙස සටහන් වී තිබිණි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මධ්‍යම පරිසර අධිකාරියේ අධ්යක්ෂ කපිල මහේෂ් රාජපක්ෂ පැවසුවේ, වායු දර්ශකය 150 ඉක්මවීම මිනිස් සිරුරට යම් අහිතකර තත්ත්වයක් බවයි. සාමාන්‍යයෙන් නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී ඉන්දියාව සහ පාකිස්තානය වැනි රටවලින් පැමිණෙන වායු ධාරා හේතුවෙන් මෙවැනි තත්ත්වයන් වාර්තා වූ අවස්ථා පවතින බවද ඔහු සඳහන් කළේය.
එමෙන්ම, බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින අක්වාන් (Akvan) සුළි කුණාටු තත්ත්වයද මෙම අහිතකර වායු තත්ත්වය ඇති වීමට හේතුවක් වී ඇති බවත්, මෙම තත්ත්වය ඉදිරි දින කිහිපය තුළත් දැකගත හැකි වනු ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.



