අවිස්සාවේල්ල බස් නැවතුම්පොළ ආසන්නයේදී අධිබලැති පුපුරන ද්‍රව්‍ය තොගයක් රැගෙන යමින් සිටි 27 හැවිරිදි පුද්ගලයකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. සීතාවක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩුල වීරසිංහගේ උපදෙස් මත කොට්ඨාස අපරාධ විශේෂ ඒකකයේ නිලධාරීන් සිදු කළ විශේෂ මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
සැකකටයුතු පුද්ගලයකු පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබූ පොහොර බෑගයක සඟවා තිබූ අධිබලැති ජෙල්ගනයිට් කූරු 60ක් සහ ඩෙටනේටර් 50ක් සොයා ගෙන ඇත. සොයා ගත් පුපුරන ද්‍රව්‍යවල අනුක්‍රමික අංක (Serial Numbers) විනාශ කර තිබූ බවද පොලිසිය අනාවරණය කර ගෙන තිබේ.
අඹගොල්ල, ගන්කන්ද, බණ්ඩාර කොස්වත්ත ප්‍රදේශයේ පදිංචි සැකකරු වෘත්තියෙන් රියදුරකු ලෙස කටයුතු කරන බව මූලික විමර්ශනවලදී හෙළි වී ඇත. ඇහැළියගොඩ ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් එම පුපුරන ද්‍රව්‍ය ලබා ගෙන වාරියපොළ ප්‍රදේශයට රැගෙන යමින් සිටි බව සැකකරු මූලික ප්‍රශ්න කිරීම්වලදී ප්‍රකාශ කර ඇත.
කෙසේ වෙතත්, සැකකරු අවස්ථා කිහිපයකදී ඉදිරිපත් කළ ප්‍රකාශ එකිනෙකට පරස්පර වීම හේතුවෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. මෙම පුපුරන ද්‍රව්‍ය කිසියම් නීතිවිරෝධී ක්‍රියාවකට යොදා ගැනීමේ අරමුණින් ප්‍රවාහනය කරමින් සිටියේද යන්න පිළිබඳව විශේෂ අවධානය යොමු කර ඇති බව පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරු අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.
