තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ එරට විදේශ කටයුතු අමාත්‍ය සිහසාක් ෆුවාන්කෙට්කියෝ (Sihasak Phuangketkeow) මහතා නිල සංචාරයක් සඳහා අද (20) දිවයිනට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කරයි. එළැඹෙන නොවැම්බර් 23 වැනිදා දක්වා ඔහු මෙරට රැඳී සිටීමට නියමිතය.

මෙම සංචාරය අතරතුර තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා හෙට (21) මහනුවර අස්ගිරි මහා විහාරස්ථානයේ පැවැත්වෙන රාජකීය කඨින පින්කමට සහභාගී වීමට නියමිතව ඇත. තායිලන්තයේ මහා වජිරලොන්කෝන් රජුගේ රාජකීය නියෝජිතයා ලෙස ඔහු එම පින්කමට එක් වේ.

තවද, මෙම නිල සංචාරයේදී ඔහු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හමුවීමට නියමිත අතර, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සමඟද සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

මේ අතර, විදේශ ගමන් බලපත්‍ර හිමියන් සඳහා වීසා නිදහස් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ගිවිසුමකට අත්සන් තැබීමටද තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා එක්වීමට නියමිතව ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර ඇත.