යෝජිත අනුරාධපුර පූජාභූමි සංවර්ධන සැලැස්ම සම්බන්ධයෙන් අස්ගිරි සහ මල්වතු පාර්ශ්වයේ මහා නායක හිමිවරුන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ. ජනාධිපතිවරයා විසින් පත් කරන ලද යෝජිත අනුරාධපුර පූජාභූමි සංවර්ධන සැලැස්ම පිළිබඳ ජනාධිපති උපදේශක සභාවේ සම සභාපති, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් මෙම දැනුවත් කිරීම සිදු කර ඇත.

අනුරාධපුර පූජාභූමිය බෞද්ධ උරුමයේ මුදුන්මල්කඩක් බව පෙන්වා දී ඇති මහා නාහිමිවරුන්, එහි බෞද්ධ උරුමය මෙන්ම පුරාවිද්‍යාත්මක වටිනාකමද ආරක්ෂා වන අයුරින් සංවර්ධන කටයුතු සිදු කිරීමේ වැදගත්කම අවධාරණය කර තිබේ.

අටමස්ථානය වැඳපුදා ගැනීමට පැමිණෙන උපාසක උපාසිකාවන්ගේ සනීපාරක්ෂක සහ ප්‍රවාහන කටයුතු ඇතුළු පහසුකම් සැලසීම පිළිබඳවද මෙම හමුවේදී සාකච්ඡාවට ලක් විය.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සඳහන් කළේ, අදාළ උරුමයන් ආරක්ෂා කරමින් එම පහසුකම් වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් මහා නායක හිමිවරුන්ගේ කිසිදු විරෝධතාවක් නොමැති බවයි.

මේ අතර, මෙවැනි සංවේදී කරුණක් පිළිබඳව සාකච්ඡාවෙන් හා සම්මුතියෙන් කටයුතු කිරීම වඩාත් සුදුසු බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් ප්‍රකාශ කර තිබේ.